රන් කඩු පූජාව

1562 අගෝස්තු 23 වන දින කොරතොට ආරච්චි වරුන්ගේ සටන් ‍හැකියාව භාවිතා කරමින් කඩුවෙල බලකොටුවේ සිට නැවත සේනාව මෙහෙය වූ රාජසිංහයන් පෘතුගීසීන්ට එරෙහිව යුද වැදෙන්නට පෙර තමන් දැඩි ලෙස ඇදැහූ පත්තිනි මෑණියන්ට භාරයක් විය. ඒ වූ කලි තමා යුද්ධය ජයග්‍රහණය කළහොත් තම රන් අසිපත පුදා කඩුවෙල කඩවත නමින් ප්‍රසිද්ධ ව තිබූ එම කඩුවෙල බලකොටුවේ පත්තිනි දේවාලයක් තනවන බවට වූ යුධ පොරොන්දුවයි. උක්ත භාරය ඔපුපු කරනු වස් එහි තැනවූ පත්තිනි දේවාලය "රන් කඩු දොවොල" ලෙස හැඳින්වේ. මෙය අදටත් කඩුවෙල මංසන්ධියේ සිට හංවැල්ල දෙසට මද දුරක් යන විට පිහිටා ඇත. 

එම යුධ පොරොන්දුවෙන් මූලාරම්භය සකසා ගත් සිංහලයේ විශිෂ්ටතම රණ ශූරයන් හා ගැටුණු ලොව දරුණුතම වර්ගයේ ආක්‍රමණිකයින් එක් දහස් හය සියයක් එකම ස්ථානයකදී පරාජය කරමින් මුල්ලේරියා වෙල ලෙයින් නැහැවූ එය යුද ජයග්‍රහණය රාජවලියෙහි මෙසේ දැක්වේ.

"වික්‍රමසිංහ මුදලින් - බිඳී ගිය සැටි රාජසිංහ රජු දැකලා වම - දකුණු පලිහක්කාරයන් හා දෙබාගේ ඇතුන් හා තොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හෝකන්දර රදා - දොළහ හේවායින් ගෙන්වා ඉලංගම්වල පලිහක්කාරයන් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන්ට ඇරලා රජාසිහංහ පෙරමුණ ඉස්සර පාරෙන් ගොසින් මුල්ලේරියා වෙල මැද හිටිනා කළ පුතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ. පස්ස පොරොත්තුවෙන් ගිය හමුදාවක් ඇවිත් පැනලා යුද්ධ කරන විට ජයසුන්දර ‍බාගෙන් වීර හස්ති කියන ඇතා කොඩියක් ගතීය. විජේසුන්දර බාගෙන ඓරාවණයා කියන ඇතා පළිසකුත් දම්වැලකුත් ගතී ය. රාජසිංහ රජු අසු පිටට නැගී මහා සේනාව පස්සට වෙන්ඩ නෑර ප්‍රතිකාලුන්ගේ මැදට වැදලා පලිසක්කාරයොත් ප්‍රතාකානොත් ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටුවා හ. තුවක්කුවලින් ගසා ප්‍රතිකානෝ පලිසක්කාරයින් මැරුවාහ. රාජසිංහ රජු අසුට නැඟී විහිදුවා සේනාව වට කර දුවමින් රණ යුද ගිණි කෙළි කෙළ කොටන විට දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේ වතුර කොට ප්‍රතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්ඩ නෑර කොටා එක්දාස් හසීයයක් ප්‍රතිකාලුන් හා කෝට්ටේ සේනාවගෙන් කීප දෙනෙකුත් පඩත්තලවරුන් කීප දෙනෙකුත් කොටා වැටුනා හ."



රාජසිංහ රජුගේ යුධ කස්ථානය
මේ දරුණු සංග්‍රමයෙන් ජයගත් රාජසිංහ රජු කඩුවෙල බලකොටුවේ දේවාලයක් තනවා සිය රන් අසිපත පූජා කළා පමණක් නොව රන්කඩු පත්තිනි දේවාලය ලෙස නම් කළ එය ආරක්ෂා කිරීමට කොරතොටින් යුද්ධයට ගිය අංගං ශිල්පීන්ට බාර කළේ ය. ඒ වෙනුවෙන් සන්නසක් ලෙස තමා මුල්ලේරියා සංග්‍රාමයට භාවිතා කළ යුද කස්තානය කොරතොට සටන් පරපුරට භාර දුන්නේ ය. රාජසිංහ රජුගේ අසිපත කොරතොට සටන් ශිල්පීහු අද දක්වා පණ සේ සුරකිති. යුද්ධයට සහභාගී වූ කොරතොට ආරච්චි අංගං පරපුරට හේවාගං කෝරළය ලෙසට ගම්වරයක් ද ප්‍රදානය කළ අතර ඒ පිළිබඳ සලකුණු ගල් අදද දක්නට තිබේ.

කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලයේ ආරක්ෂාව පැවරුණු කොරතොට ආරච්චිවරුන්ගෙන් සටන් ප්‍රධානී වූ මහන්ත ආරච්චි පරපුර වර්තමානය දක්වාම අතීත සම්ප්‍රදාය නොකඩා එම චාරීත්‍ර වාරිත්‍ර සමඟ අංගං ශාස්ත්‍රය ද සුරැකිව පවත්වාගෙන එයි. එසේ පවත්වාගෙන පැමිණි යුධ ජයග්‍රහණ සැමරුම ගියවර “රනු කඩු පූජාව“ නමින් උක්ත රන් කඩු දෙවොලේදීම උත්සවාකාරයෙන් පැවැත්වෙන ලදී.

එදා සීතාවක පළමුවැනි රාජසිංහ රජතුමා සිය රන් කඩුව පුදා ඔප්පු කළ යුද පොරොන්දුව වසර සිය ගණනක් සුරැකිව ආරක්ෂා කළ අංගං පරපුරේ 449 වැනි සැමරුම අති උත්කර්ෂවත් අන්දමින් මුල්ලේරියා රණ බිම විජයග්‍රහණය කළ කඩුවෙල, රන්කඩු පත්තිනි දේවාල භමියේදී පසුගිය 2011 අගෝස්තු මස 23 වැනිදා පැවැත්වූයේ රන්කඩු පූජා මහෝත්සවයක් ලෙසිනි.

එදින උත්සවය ආරම්භ වූයේ සීතාවක රජාසිංහ රජු භාවිත කළ කොඩි තුවක්කුවෙන් වෙඩිමුර තුනක් පත්තු කිරීමෙනි. මෙම කොඩිතුවක්කුව මැදගොඩ පත්තිනි දේවාලය භාරයේ පවතින අතර එය පළමුවැනි රාජසිංහ රජතුමා විසින්ම එම දේවාලයට පූජාකරන ලද බවද කියැවෙයි. මේ අතර එදා මුල්ලේරියා සටනට සහභාගී වූ රණ ශූරයන් වෙත රජතුමා විසින් හේවාගම් කෝරළය යනුවෙන් නම් කර ලබාදුන් ප්‍රදේශ අදද හැඳින ගත හැකි අතර එම ප්‍රදේශ වල ජනතාව එදා සීතාවක රජතුමාගේ රණශූරත්වය සිහිපත් කිරීම සඳහා කඩුව සහ පළිහ යොදා ගනිමින් විශේෂ නර්තන සම්ප්‍රදායයන් පවා ඇති කළේ ය. මෙසේ වැළලී යමින් තිබූ අපේ ඉපැරණි රණ නර්තන සම්ප්‍රදාය යළි ඉස්මතු කරමින් මෙදා කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලයේදී 'කඩු පළිහ වාහල නැටුම' රඟ දැක්වීමට ද එදා අප කටයුතු යොදා තිබුණි.




ඒ අනුව 2011 අගෝස්තු 23 වැනිදාට යෙදුන මුල්ලේරියා යුද ජයග්‍රහණයේ 449 වැනි සැමරුම නිමිත්තෙන් මහන්ත ආරච්චි පරපුරේ උරුමකරුවන් විසින් මුල්ලේරියා සටනට උර දී මිය ගිය වීර මුතුන් මිත්තන්ට පිං දී, රාජසිංහ රජුගේ යුද පොරොන්දුව සංකේතවත් කරමින් රන් ආලේපිත කඩුවක් නැවත රන් කඩු පත්තිනි දේවාලයට පූජා කරන ලද අතර අංගං සටන් දැක්මක් ද පවත්වනු ලැබීය.

මෙවරද වසර 499ක් කොරතොට ආරච්චි පරපුරු විසින් පවත්වාගෙන පැමිණි සාම්ප්‍රදායික ජූජාව රන් කඩු පත්තිනි දේවාලයේදී එම දින පැවැත්වෙන අතර මුල්ලේරියා යුද්ධය ජයග්‍රහණය කළ මුල්ලේරියා වැව අසල “මුල්ලේරියා රණබිම විජයග්‍රහණ සැමරුම“ අගෝස්තු 23 වන දින  සවස 6.00 සිට පැවැත්වෙනු ලැබේ.

No comments:

Post a Comment