ටිකිරි කුමාරයා

හංවැල්ල නගර මධ්‍යෙයේ ඇති
ටිකිරි කුමාරයාගේ පිළිරුව
පළමුවන රාජසිංහ ( සීතාවක රාජසිංහ ), ක්‍රි.ව. 1581 සිට 1593 දක්වා සීතාවක රාජධානියේ රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමාගේ නිර්භිතබාවය නිසා එතුමා මහත් ප්‍රසිද්ධියක් උසුලයි. ටිකිරි බණ්ඩාර ලෙස සීතාවක රාජධානියේ මායාදුන්නේ රජුට දාව එතුමා උපන්නේය. ආක්‍රමණික පෘතුගිසීන්ට එරෙහිව කල ජයාග්‍රාහි වීර සටනින් පසු සිංහයන්ගේ රජා යන අරුථ ඇති රාජසිංහ යන නාමයෙන් එතුමා රජ විය. පෙරදිග රටක් විසින් එවකට ලොව බලවත්ම ආක්‍රමණික හමුදාවක් හිමිවූ පරංගීන්ට එරෙහිව පළමුවන වෙඩිමුරය තැබූ එතුමා සමඟ එක්ව ගෝවේ පරංගි රජුට මර උණ ගැණුන මුල්ලේරියා මහා සංග්‍රාමයට යුද්ධ කිරීමේ ගෞරවය අප පරම්පරාවට හිමි විය.

සීතාවක අංගම් කැටයමක්
ශ්‍රී ලාංකීය ඉතිහාසය වූ කලී වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම යුද ඉතිහාසයකි. සිංහලුන් තරම් රටක් වෙනුවෙන් යුද වැදුණු හා දිවි පුද කළ විරුවන් ලොව වෙනත් රටක නොමැති තරම් ය. නොනැවතුණු පරදේශක්කාරයින් ගේ ආක්‍රමණ හමුවේ අත රැඳි අසිපත බිම තබන්නට සිහලුන්ට විරාමයක් නොවුණා කිවහොත් නිවැරදි ය.  පාණ්ඩ්‍ය, චෝල, ආක්‍රමණවලින් අනතුරුව ලොව දරුණුත ම ආක්‍රමණිකයින් වූ පෘතුගීසීන් ගේ කෲර ආක්‍රමණවලට වරින් වර මුහුණ දීමට 1505 සිට සිංහලයින්ට සිදු වූ අතර ක්‍රම ක්‍රමයෙන් දරුණු වූ එම ආක්‍රමණවලට එරෙහිව සිංහල රණ ශූරයින් නැඟී සිටිය ද දේශපාලන වාසි තකා පරංගීන්ට ආවැඩූ අපේ ම උදවිය පෘතුගීසීන් තව තවත් ශක්තිමත් කළහ. මෙයට හොඳම උදාහරණය වන්නේ කොට්ටේ දොන් ජුවාන් ධර්මපාල රජතුමා ය.

මේ හේතුවෙන් පෘතුගීසී පිළිලය වඩ වඩාත් හෙළ දෙරණ වසා වැඩෙන්නට විය. මේ පරංගි ආක්‍රමණ හමුවේ ඊට නොබියව මුහුණ දුන් ප්‍රබලතම පුද්ගලයා වූයේ සීතාවක රාජසිංහ රජතුමා හෙවත් බොහෝ දෙනා දන්නා පරිදි ටිකිරි කුමාරයා ය. එතුමා අංගං සටන් ශිල්පයෙහි කෙළ පැමිණියෙකු වූ අතර අශ්වාරෝහණයට ඇතුළු රණ හරඹයෙහි උපන් හපන්කම් පෑ රණ සුරුවෙක් විය. ටිකිරි කුමරු ගේ රණ ශූරත්වය කෙතෙක් ද යත් වයස අවුරුදු එකොළහ පමණ දී සිය පියා වූ මායාදුන්නේ රජුගේ සේනාවේ අණ දෙන තනතුරක් දැරීමට පවා සමත් විය. ඒ බව “කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා, ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා“ නම් ජන කවියෙන් මොනවට ඔප්පුවේ.

සීතාවක රාජසිංහ රජු සිහිවීම සඳහා හේවාගම් කෝරලයේ
ජනයා විසින් නැටූ නැටුමක්
කෝට්ටේ රාජධානිය නතු කරගත් පෘතුගීසීන් ගේ ඊළඟ අභිප්‍රාය වූයේ සීතාවක රාජධානිය ද අත්පත් කර ගැනීමයි. මේ වෙනුවෙන් ඉතා දරුණු සටන් රැසක් ම විටින් විට පාතුගීසීන් විසින් දියත් කරනු ලැබූ අතර මුල්ලේරියාව දක්වා ම පහර දී ගෙන පැමිණි පෘතුගීසීහු 1562 දී මුල්ලේරියාව අසල වේරගොඩ ගමේ වාඩිලා ගත්හ.

පළමුවන රාජසිංහ හෙවත් සීතාවක රාජසිංහ රජු ගේ යුද උපායශීලීත්වය අසම සම විය. “යුදට උපන් කුමරා” ලෙස ජන කවියා විසින් ද හඳුන්වනු ලැබූ එතුමා මුළු සීතාවක රාජධානියේ ම යුද මර්මස්ථානයන් හි බලකොටු තැනවී ය. ඒ අතර වර්තමාන කළුඅග්ගල බොස්කෝ විද්‍යාලය පිහිටි භූමියේ තිබුණු ගිරාඉඹුල බලකොටුව ද අතීතයේ ගුරුබැවිල නමින් හැඳිනු වූ වත්මන් හංවැල්ලේ පිහිටි බලකොටුව ද කඩුවෙල පිහිටි කඩවත් බලකොටුව ද සීතාවක රාජධානියේ ආරක්ෂාව තහවුරු කර ගැනීම පිණිස අතිශයින් ම වැදගත් විය.

No comments:

Post a Comment